මුල් පිටුවතෆ්සීර්Al-Mulk (67)

තෆ්සීර් Al-Mulk (67) — الملك

මක්කී · 30 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

تَبَـٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿١﴾

ආධිපත්යය තම අතෙහි පමණක් රඳවා තබා ඇති අල්ලාහ්ගේ යහපත අධික විය, අතිමහත් විය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වබලධාරීය. කිසිවකට ඔහු පරාජය කළ නොහැක

ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ ﴿٢﴾

අහෝ ජනයිනි, නුඹලා අතරින් ක්රියාවෙන් වඩාත් දැහැමි කවුරුන්දැ?යි නුඹලාව පරීක්ෂා කරනු පිණිස මරණය හා ජීවය මැව්වේ ඔහුය. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීයාය. එමෙන්ම තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අතිශය සමාව දානය කරන්නාය

ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَـٰوَٰتٍۢ طِبَاقًۭا ۖ مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَـٰنِ مِن تَفَـٰوُتٍۢ ۖ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍۢ ﴿٣﴾

ඔහු වනාහි, අහස් හතක් මැව්වේය. සෑම අහසකම, අහස් දෙකක් අතර එකිනෙක ස්පර්ශ නොවන පරිදි එකකට උඩින් එකක් වශයෙන් තලයක් විය. නිරීක්ෂා කර බලන්නනි, අල්ලාහ්ගේ මැවීම තුළ කිසිදු පළුද්දක් හෝ නොගැලපීමක් නුඹ නොදකිනු ඇත. කිසියම් පැළීමක් හෝ පළුද්දක් හෝ දැකිය හැකිදැයි නුඹ නැවතත් බලනු. එලෙස කිසිවිටෙක නුඹට දැක ගත නොහැකිය. නුඹට දැක ගත හැකිවනුයේ ඉතා සියුම් මනා ලෙස සැලසුම් කළ මැවීමක් පමණය

ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًۭا وَهُوَ حَسِيرٌۭ ﴿٤﴾

නැවත නැවතත් ඔබේ බැල්ම යොමු කර බලනු. අහස මැවීමෙහි කිසිදු හිඩසක් හෝ අඩුවක් හෝ දැකිය නොහැකි ව ඔබේ බැල්ම ඔබ වෙත නැවත පැමිණෙනු ඇත. එය දැකිය නොහැකි පහත්ව පවතී

وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَجَعَلْنَـٰهَا رُجُومًۭا لِّلشَّيَـٰطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ ﴿٥﴾

මිහිතලයට ඉතා සමීපයෙන් පිහිටි අහස දීප්තිමත් තාරකා මගින් අලංකාරවත් කළෙමු. එම තාරකාවන්, හොරෙන් සවන් දෙන ෂාතානුන්ට පහර දෙන ගිනිමැලක් බවට පත් කළෙමු. මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු

وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿٦﴾

තම පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ දඬුවම ඇත. ඔවුන් එසේ යොමු වන ස්ථානය නපුරු විය

إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًۭا وَهِىَ تَفُورُ ﴿٧﴾

නිරා ගින්නට ඔවුන් හෙළනු ලබන විට, එහි ඇති ඉතා කෲර පිළිකුල් හඬකට ඔවුන් සවන් දෙති. එය ජලය පැහී නටනවාක් මෙන් පැහී නටනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌۭ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌۭ ﴿٨﴾

එහි පිවිසෙන අය කෙරෙහි එය දක්වන දැඩි කෝපය හේතුවෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් බෙදා වෙන්කරන්නට බලයි. එයට අදාළ දේව ප්රතික්ෂේපක යින්ගෙන් පිරිසක් හෙළනු ලබන විට එහි භාරකාර මලක්වරුන් ඔවුනට පහර දෙන්නාක් මෙන්, 'අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලා බියවද්දන දූතයකු නුඹලා වෙත නොපැමිණියේ දැ?' යි ඔවුන්ගෙන් සැරෙන් විමසති

قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌۭ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَـٰلٍۢ كَبِيرٍۢ ﴿٩﴾

සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවම ගැන අප බියවද්දන දූතයකු අප වෙත පැමිණියේය. නමුත් අපි, ඔහු බොරු කොට, "අහෝ ධර්ම දූතය, කිසිදු දේව පණිවිඩයක් අල්ලාහ් පහළ කර නැත. ඔබ සත්යයෙන් පෙරළී අතිමහත් මුළාවක මිස නැතැයි අපි ඔහුට පැවසුවෙමු.” යැයි, දේවත්වය ප්රතික්ෂේප කළවුන් පවසා සිටියෝය

وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَـٰبِ ٱلسَّعِيرِ ﴿١٠﴾

තව දුරටත් එම දේව ප්රතික්ෂේපකයෝ, ‘ප්රයෝජන ලබන දෙයකට අපි සවන් දුන්නේ නම් හෝ සත්ය හා අසත්ය වෙන් කරගැනීමේ අවබෝධ බුද්ධිමය වශයෙන් අපි වටහා ගත්තෙමු නම්, නිරාගින්නේ සමස්ත නිරා වාසීන් අතරට අප පත් නොවන්නෙමු. ඒ වෙනුවට අපි දූතයාණන්ව විශ්වාස කොට ඔහු ගෙන ආ දෑ සත්ය බව පිළිගෙන තිබුණේ නම් අප ද ස්වර්ගවාසීන් අතරට පත් වන්නෙමු' යැයි පවසා සිටිති

فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًۭا لِّأَصْحَـٰبِ ٱلسَّعِيرِ ﴿١١﴾

එවිට ඔවුන් තමන්ගේ ප්රතික්ෂේපය හා බොරු කිරීම පිළිගනිති. ඔවුන් නිරා ගින්නට සුදුස්සන් බවට පත් වෙති. නිරා වැසියන්ට දුරසක්ම පවතීවා!

إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ ﴿١٢﴾

සැබැවින්ම තමන් හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට බියවන්නන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පාපකම්වලට සමාව ඇත. එමෙන්ම මහඟු තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි

وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ ۖ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿١٣﴾

අහෝ ජනයිනි! නුඹලාගේ ප්රකාශයන් නුඹලා සැඟවුවද එය නුඹලා ප්රසිද්ධ කළ ද සැබැවින්ම අල්ලාහ් එය දනී. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ ﴿١٤﴾

මැවීම් සියල්ල මැවූ මැවුම්කරුවාණන් රහසිගත දෑ හා රහසින් සඟවන දෑ ගැන නොදන්නේ ද? ඔහු ඔහුගේ ගැත්තන් කෙරෙහි මෛත්රීය. ඔවුන්ගේ තොරතුරු පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًۭا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ ۖ وَإِلَيْهِ ٱلنُّشُورُ ﴿١٥﴾

මහපොළොව මත වාසය කිරීමට හැකිවන පරිදි නුඹලාට එය නම්යශීලීව හා සැහැල්ලුවෙන් මවා ඇත්තේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ හා දේශ අතර සැරිසරමින් එහි නුඹලාට සැළසුම් කර ඇති ඔහුගේ පෝෂණය නුඹලා අනුභව කරනු. විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි

ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ ﴿١٦﴾

මහපොළොව මත වාසය කරන්නට පහසුවන අයුරින් එය නම්යශීලී වීමෙන් පසු කාරූන් ගිලා බසින්නට එය දෙබෑ කළාක් මෙන්ම නුඹලාට පහළින් ඇති මහපොළොව අහසේ සිටින අල්ලාහ් දෙබෑ කිරීම ගැන නුඹලා සුරක්ෂිත ද? එවිට නුඹලා එහි රැඳී සිටීමෙන් පසු එය කම්පනයට පත් වෙයි

أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًۭا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ ﴿١٧﴾

අහසේ සිටින අල්ලාහ්, ලූත් ජනයා මත අහසින් ගල් වරුසාවක් පහළ කළාක් මෙන් නුඹලා මත ද පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? නුඹලා දෙනු ලබන අවවාදාත්මක මාගේ දඬුවම නුඹලා දෑසින් දකින අවස්ථාවේ නුඹලා දැනගනු ඇත. නමුත් දඬවම දෑසින් දුටුවායින් පසු ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් වන්නේම නැත

وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿١٨﴾

දෙවියන්ට ආදේශ තබන මොවුනට පෙර විසූ ජන සමූහයන් ද බොරු කළෝය. ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හා බොරු කිරීමෙහි එල්බගෙන සිටි බැවින් අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පහළ විය. ඔවුනට එරෙහිව මාගේ පිළිකුල කෙසේ වීද? එය බිහිසුණු දඬුවමක් විය

أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَـٰٓفَّـٰتٍۢ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَـٰنُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ ﴿١٩﴾

මෙම බොරුකාරයින් ඔවුනට ඉහළින් අහසෙහි විටෙක තම පියාපත් දිගු හරිමින් ද තවත් විටෙක හකුළා ගනිමින් ද පියාසර කරන පක්ෂියා දෙස නිරීක්ෂණය කර නොබලන්නේ ද? උන් බිමට නොවැටී එසේ රඳවා තබනුයේ අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවේ. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත

أَمَّنْ هَـٰذَا ٱلَّذِى هُوَ جُندٌۭ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَـٰنِ ۚ إِنِ ٱلْكَـٰفِرُونَ إِلَّا فِى غُرُورٍ ﴿٢٠﴾

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට දඬුවම් කිරීමට අභිමත කළේ නම්, ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වන කිසිදු සේනාවක් නුඹලාට නැත. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා වංචා කරනු ලැබූවන් මිස නැත. ෂෙයිතාන් ඔවුනට කුමන්ත්රණය කළේය. එමගින් ඔවුහු රැවටුණෝය

أَمَّنْ هَـٰذَا ٱلَّذِى يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُۥ ۚ بَل لَّجُّوا۟ فِى عُتُوٍّۢ وَنُفُورٍ ﴿٢١﴾

නුඹලා ලබන අල්ලාහ්ගේ පෝෂණය ඔහු වළක්වා ගත්තේ නම්, නුඹලාට පෝෂණය ලබා දෙන කිසිවකු නැත. නමුත් සිදු වනුයේ, සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුරණ්ඩුකම, අහංකාරය හා සත්යයෙන් වැළකී සිටීම යනාදී කරුණුවල රැඳී සිටීමය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٢٢﴾

වඩාත් නිවැරැදි මාර්ගයේ සිටිනුයේ තම මුහුණ මුණින් ඇද වැටී ගමන් කරන -දෙවියන්ට ආදේශ කරන්නා ද එසේ නැතිනම් ඍජු මාර්ගයේ ඍජුව ගමන් කරන දේව විශ්වාසියාද?

قُلْ هُوَ ٱلَّذِىٓ أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۖ قَلِيلًۭا مَّا تَشْكُرُونَ ﴿٢٣﴾

අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට නුඹ මෙසේ පවසනු. නුඹලා ව මැව්වේ අල්ලාහ්ය. නුඹලා ශ්රවණය කිරීම සඳහා නුඹලාට සවන් ද, නුඹලා බැලීම සඳහා නුඹලා බැල්ම ද, නුඹලා වටහා ගැනීම සඳහා නුඹලාට හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා අල්ලාහ්ට කෘතඥවනුයේ සුළු වශයෙනි

قُلْ هُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ﴿٢٤﴾

අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට තවදුරටත් නුඹ මෙසේ පවසනු. මහපොළොවේ නුඹලාව ව්යාප්ත කර එහි විසුරුවා හැරියේ අල්ලාහ්ය. නුඹලා නොමැවූ නුඹලාගේ පිළිම නොවේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා ඒක්රැස් කරනු ලබනුයේ ද ඔහු වෙත පමණය. නුඹලාගේ පිළිම වෙත නොවේ. එහෙයින් නුඹලා ඔහුට බියවනු. ඔහුට පමණක් ගැතිකම් කරනු

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٢٥﴾

"නැවත නැගිටවනු ලැබීම දුරින් පවතින්නක් යැයි ඒ ගැන බොරු පවසන්නෝ, අහෝ මුහම්මද් ඔබ හා ඔබේ අනුගාමිකයින් කරන වාදයේ සත්යවාදීහු නම් ඔබ අපට ප්රතිඥා දෙන එම ප්රතිඥාව ඇති වන්නේ කවදාදැ?"යි විමසා සිටිති

قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿٢٦﴾

"අහෝ දූතය, සැබැවින්ම එම හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. එය සිදුවන්නේ කවදාදැ?යි ඔහු හැර වෙනත් කිසිවකු නොදනී. මම නුඹළා අතර අවවාද කරන පැහැදිලි අවවාකරුවෙකු පමණය" යැයි නුඹ පවසන්න

فَلَمَّا رَأَوْهُ زُلْفَةًۭ سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ ﴿٢٧﴾

එම ප්රතිඥාව සිදු වී දඬුවම ඔවුනට සමීප බව ඔවුන් දෑසින් දකින කල්හි එනම් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහිය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු වෙනස් වී කළු පැහැ ගැන්වෙනු ඇත. ඔවුනට, ‘මෙය මෙලොවෙහි නුඹලා ඉල්ලා සිටි, එමෙන්ම ඉක්මන් කරන්නැයි පැතූ දෑ වේ’යැයි පවසනු ලැබේ

قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَـٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍۢ ﴿٢٨﴾

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මෙම බොරු කාරයින්ට අවවාද කරමින් ‘අල්ලාහ් මා මරණයට පත් කොට මා සමග සිටින දෙවියන් විශ්වාස කරන්නන් ද මරණයට පත් කළේ නම් හෝ ඔහු අපට කරුණාව දක්වා අපගේ ආයු කාලය ප්රමාද කළේ නම් හෝ වේදනා සහගත දඬුවමින් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුදවා ගනුයේ කවුරුන් දැ?'යි විමසනු. ඔවුන්ගෙන් කිසිවකු එයින් ඔවුන් මුදවා ගන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ هُوَ ٱلرَّحْمَـٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٢٩﴾

අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්හට තවදුරටත් මෙසේ පවසනු. ‘ඔහුට පමණක් ගැතිකම් කරන ලෙසත් ඔහු ගැන පමණක් විශ්වාසය තබන ලෙසත් අපගේ කටයුතු වලදී ඔහු මත පමණක් රැඳී සිටින ලෙසත් නුඹලාව ඇරයුම් කරනුයේ මහා කාරුණිකයාණන්ය. එහෙයින් පැහැදිලි මුළාවෙහි සිටින්නේ කවුරුන්දැයි ද ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන්දැයි ද කිසිදු සැකයකින් තොරව නුඹලා මතු දැනගනු ඇත.'

قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًۭا فَمَن يَأْتِيكُم بِمَآءٍۢ مَّعِينٍۭ ﴿٣٠﴾

අහෝ දූතය, අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් විමසනු. නුඹලා පානය කරන නුඹලාගේ ජලය නුඹලා විසින් ලබා ගත නොහැකි අන්තයකට මහපොළොව තුළට කිදා බැස්සේ නම්, අධික ලෙස ගලා යන ජලය නුඹලා වෙත ගෙන එන්නේ කවුරුන්දැයි මා වෙත දන්වනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Mulk — الملك

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා